Skip to main content

Mirror Lanka

මම රඟපාන්න ගියේ ගෙදර අයට හොරෙන්  – ලිලන්තා චිත්‍රාණි

මම රඟපාන්න ගියේ ගෙදර අයට හොරෙන්  – ලිලන්තා චිත්‍රාණි

රංගනය, ගායනය, නර්තනය වගේම නිවේදනයෙනුත් ප්‍රේක්ෂක ආදරය නොමදව දිනාගත් ඇය, කලා ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ මෙන්ම ප්‍රවීණ ශිල්පිනියක්. පවුලේ වගකීම් සහ මාතෘත්වය එකලෙස ඉටු කරමින්ම කලා ගමනේ සාර්ථක දුරක් පැමිණි ඇය, ලිලන්තා චිත්‍රාණි.

ඔබේ කලා ගමනේ මුල්ම අඩිතාලම වැටුණේ කොහොමද?

ඇත්තටම මගේ කලා ගමනේ ආරම්භය සිදු වුණේ පාසල් කාලයේදීමයි. ඒ දවස්වල මම කලාව පැත්තෙන් ඉතාම කැපී පෙනුණු ශිෂ්‍යාවක් කිව්වොත් නිවැරදියි. පාසල් නර්තන කණ්ඩායමේ සක්‍රීයව සිටි මම, පාසලේ පැවැත්වුණු සියලුම කලා කටයුතුවලට නිරන්තරයෙන්ම ඉදිරිපත් වුණා. විශේෂයෙන්ම ‘ජසයා සහ ලෙන්චිනා’ කියන පාසල් වේදිකා නාට්‍යයේ රඟපෑම මගේ කලා හැකියාවන් මතු කරගන්න ලැබුණු හොඳම අවස්ථාවක් වුණා.

ක්ෂේත්‍රයෙන් කාලයක් ඉවත් වෙලා සිටින්න තීරණය කළේ ඇයි?

වයස අවුරුදු 19දී සිදු වුණු මගේ විවාහයත් එක්ක ජීවිතයේ ප්‍රමුඛතා වෙනස් වුණා. බිරිඳක් සහ මවක් විදිහට දරුවන් උස්මහත් කරලා හදාවඩා ගන්නා තෙක් මට පවුලට මුල් තැන දෙන්න සිදු වුණා. ගෙදර දොරේ වැඩ කටයුතු සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙලාව යොමු කරද්දී වෙනත් දෙයකට යොමු වෙන්න මට ඇත්තටම කාලයක් තිබුණේ නැහැ. ඒ නිසා හිතේ ලොකු අකමැත්තකින් වුණත්, කලාවට තාවකාලිකව සමුදෙන්න මට සිද්ධ වුණා.

නැවතත් ඔබ සක්‍රීයව කලාවට සම්බන්ධ වෙන්නේ අවුරුදු කීයකට විතර පස්සෙද?

නැවත පූර්ණ කාලීනව එකතු වුණේ විවාහයෙන් පසුව වසර 10කට විතර පස්සේ. දරුවන් යම් තරමකට ලොකු මහත් වුණාට පස්සෙයි. හැබැයි මම මවක් සහ බිරිඳක් ලෙස වගකීම් ඉටු කරන අතරතුරදී පවා අවස්ථා දෙකතුනකදී නැවත නැවතත් රංගන කටයුතුවලට සම්බන්ධ වුණා.

මේ වෙනකොට ඔබ කලා නිර්මාණ කොපමණ ප්‍රමාණයකට රංගනයෙන් දායක වෙලා තියෙනවාද?

මේ වනවිට මම ටෙලි නාට්‍ය බොහෝ ප්‍රමාණයක් සඳහා රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඊට අමතරව වේදිකා නාට්‍යවලට වගේම සිනමා නිර්මාණ හතරකට විතර සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා.

මේ දිනවල ප්‍රේක්ෂකයින් අතරට එන ඔබේ අලුත්ම නිර්මාණ මොනවාද?

මේ දිනවල විකාශය වන ‘බෝඩිං කාමරය’, ‘රෝස කටු’ සහ ‘සෙවණැලි’ කියන ටෙලි නාට්‍ය හරහා මාව ප්‍රේක්ෂකයින්ට දකින්න පුළුවන්. ඒ එක්කම හිරු රූපවාහිනියේ දිග හැරෙන සෙවණැලි නාට්‍යයටත් මම සම්බන්ධ වෙලා වැඩ කළා. ඊට අමතරව මා රංගනයෙන් දායක වුණු පෝ දින නාට්‍ය බොහෝමයක් ඉදිරියට නිකුත් වෙන්න නියමිතයි. ඒ වගේම මේ දිනවලත් තවත් අලුත් නිර්මාණ කිහිපයකට එකතු වෙන්න මට ආරාධනා ලැබිලා තියෙනවා.

රංගනයට අමතරව ගායනය සහ නර්තනය පැත්තෙනුත් ඔබ දක්ෂතා දක්වපු කෙනෙක්?

ඔව්, මමම පද රචනා කරලා ගායනා කරපු ගීතයක් ඇතුළුව කවර් සෝන්ග්ස් කිහිපයක් කරලා තියෙනවා. ඒ වගේම නර්තන ශිල්පිනියක් විදිහට නර්තන ප්‍රසංග 15කට වැඩි ගණනකට දායක වෙන්න මට පුළුවන් වුණා. ඊට අමතරව ගීත රූප රචනා කිහිපයකටත් මම රංගනයෙන් එකතු වුණා.

කලා ක්ෂේත්‍රය තුළ ඔබේ ඉදිරි බලාපොරොත්තුව මොකක්ද?

මගේ එකම ආසාව සහ බලාපොරොත්තුව, පුළුවන් තාක් කාලයක් හොඳ ගුණාත්මක නිර්මාණ හරහා ප්‍රේක්ෂකයින් අතර රැඳී සිටීමයි. මගේ වයසත් එක්ක බලද්දී මට ගොඩක් වෙලාවට ලැබෙන්නේ වැඩිහිටි චරිත. ඉතින් ඉදිරියටත් ප්‍රේක්ෂක සිත් ගන්නා සුළු, හොඳ ගුණාත්මක වැඩිහිටි චරිතවලට දායක වෙමින් රංගනයේ යෙදෙන්න මම අදහස් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *