ගොඩක් අය අහනවා ඔයා නේද අර සැර ඉන්ස්පෙක්ටර් කියලා… ජානක තරංග
පුංචි තිරයේ සැරපරුෂ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ප්‍රේක්ෂක සිත් දිනාගත් ඔහු, රූපවාහිනී තිරයෙන් ඔබ්බට ගිය කලා පෞරුෂයකින් හෙබි නිර්මාණකරුවෙකි. නළුවෙකු, තිර පිටපත් රචකයෙකු, ග්‍රන්ථ කර්තෘවරයෙකු මෙන්ම ගීත රචකයෙකු ලෙසද කලා ක්ෂේත්‍රයේ විවිධ මානයන් ස්පර්ශ කළ ඔහු නමින් ජානක තරංග ආරියරත්න ය. පොලිස් නිල ඇඳුමට එහා ගිය ඔහුගේ බහුවිධ කලා හැකියාවන් සහ ඉදිරි නිර්මාණ කටයුතු පිළිබඳව කෙරෙන කතාබහයි මේ.

ජානකව ගොඩක් ප්‍රේක්ෂකයෝ දන්නේ පොලිස් චරිත හරහා නේද?
ඔව්, හිරු රූපවාහිනි නාලිකාවේ විකාශය වෙන ‘119’ සහ ‘හෙළිදරව්ව’ යන ටෙලි නාට්‍ය දෙකේම අපරාධ විමර්ශනය කරන පොලිස් ස්ථානාධිපතිවරයා විදිහට මම රංගනයෙන් දායක වුණා. ඒ හරහා තමයි මාව ගොඩක් ප්‍රේක්ෂකයෝ අඳුනගත්තේ කිව්වොත් හරි. ඒ වගේම ලැබුණු රසික ප්‍රතිචාර ඉතාම ඉහළයි. ගොඩක් අය මාව දැක්කාම “ඔයා නේද අර සැර ඉන්ස්පෙක්ටර්?” කියලා අහනවා. ඉතින් මට දැනෙනවා මම කරපු ඒ චරිතවලට ලොකු සාධාරණයක් කරලා තියෙනවා කියලා.
කලාවට ඔබගේ පිවිසීම සිදු වුණේ කොහොමද?
මම මුලින්ම ක්ෂේත්‍රයට ආවේ තිර පිටපත් රචකයෙක් විදිහට. පස්සේ තමයි රංගනයට සම්බන්ධ වුණේ. මම දායක වුණ කලා නිර්මාණයක් යූටියුබ් එකේ ප්‍රචාරය වෙනවා දැකලා අජිත් ද සිල්වා මහත්මයා මාව හිරු නාලිකාවේ ‘119’ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරපු ලසිත ආර්. සමරතුංග මහත්මයාට අඳුන්වලා දුන්නා. එතුමාගේ මඟ පෙන්වීම යටතේ තමයි මුලින්ම ටෙලි නිර්මාණයකට එකතු වෙන්නේ. පළමු රංගනය කළේ පොලිස් කොස්තාපල් කෙනෙක් විදිහට. පස්සේ තමයි පොලිස් ස්ථානාධිපතිවරයා විදිහට රඟපාන්න ලැබෙන්නේ.
රංගන ක්ෂේත්‍රය තුළ ඔබ ආපු ගමන ගැන පැහැදිලි කළොත්?
ලසිත ආර්. සමරතුංග මහතා අධ්‍යක්ෂණය කළ ‘119’ සහ ‘හෙළිදරව්ව’ කතා මාලාවල පොලිස් ස්ථානාධිපතිවරයාගේ චරිතයට පණ පෙවුවා. පසුව ‘ඇගේ කතාව’, සහ වර්තමානයේ හිරු ටීවී එකේ විකාශනය වන ‘සෙවනැලි 2′ කතා මාලාවේ ගුරුන්නාන්සේගේ චරිතයටත් පණ පොවනවා. මලින්ද රත්නායක අධ්‍යක්ෂණය කළ ’33 කාමරය’ කතා මාලාවේ සහ දිදුල රූපවාහිනියේ විකාශය වන ප්‍රගීත් රත්නායක මහතා අධ්‍යක්ෂණය කරන ‘පෝ දින’ කතා මාලාවේ විවිධ චරිත නිරූපණය කළා. මේ අවස්ථාවේ විශේෂයෙන්ම ස්තූති කරන්න ඕනේ ප්‍රගීත් රත්නායක මහතාට වගේම ඊට මාව අඳුන්වා දුන් තුෂාරි උදයකාන්ති සොයුරියට.
රංගන ශිල්පියෙක් විදිහට ප්‍රේක්ෂකයින් අතරට ගියේ පොලිස් චරිත වලින් විතරද?
ගොඩක් වෙලාවට මා ගැන කතා කළේ පොලිස් ස්ථානාධිපති චරිතය හරහා වුණත්, ‘පෝ දින’ කතා මාලාවේ මම නිරූපණය කළ හිඟන්නාගේ චරිතයට සහ බඩියාගේ චරිතයටත් මම ගොඩක් කැමතියි. ඒ චරිතවලටත් මම හොඳ සාධාරණයක් කළා වගේම ඒවා ප්‍රේක්ෂකයින් අතර ගොඩක් ජනප්‍රිය වුණා.
දැනට ඔබ අතින් ලියැවුණු දේවල් මොනවාද?
‘119’, ’33 කාමරය’, ‘හෙළිදරව්ව’, ‘පෝ දින’, ‘රාක්ෂ මුද්ද’ සහ තවම විකාශනය නොවූ ‘ගිණිගත් සකුරාව’ කියන්නේ මම තිර රචනය කරපු නිර්මාණ. ඊට අමතරව විවිධ ඒකාංගික නිර්මාණ 20කට පමණ සහ සමස්තයක් ලෙස තිර පිටපත් 125කට ආසන්න ප්‍රමාණයකට තිර රචනයෙන් දායක වෙලා තියෙනවා. ඒ වගේම කෙටි චිත්‍රපට 02ක් අධ්‍යක්ෂණය කරලා තියෙනවා. රංගනයට පිවිසීමට කලින් ඉඳන්ම මම ලේඛන කලාවේ හිටියා. නවකතා, විද්‍යා ප්‍රබන්ධ, කවි ඇතුළු විවිධ විෂයන් අලලා පොත් 36ක් විතර ලියා එළිදක්වා තියෙනවා. ඒ වගේම මම රචනා කළ ගීත 32ක් පමණ තිබෙනවා.
ඉදිරියේදී එළිදක්වන්න නියමිත අලුත් පොත් සහ ගීත මොනවාද?
මේ වසරේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව මගේ අලුත් පොත් දෙකක් එළිදක්වන්න නියමිතයි. රයිගම රාජධානියේ ඉතිහාසය. කළුතර දිස්ත්‍රික්කයේ කළුගඟ ඉහළ පවතින රයිගම් කෝරළය හා ආශ්‍රිත රයිගම රාජධානිය ගැන දීර්ඝකාලීන පර්යේෂණ සහ පුරාවිද්‍යා සාධක මුල් කරගෙන ලියැවුණු ඓතිහාසික ග්‍රන්ථයක්. පොලිස් අපරාධ විමර්ශන කතා එකතුව. ෂර්ලොක් හෝම්ස් විලාසයේ තාක්ෂණික හා ප්‍රබන්ධ අපරාධ පරික්ෂණ ඇතුළත් රහස් පරීක්ෂක කතා එකතුවක්. ඊට අමතරව තුෂාරි උදයකාන්ති ගායනා කරන මම පමා වෙන්න ඇති, ඔබ දෙනයන නුරා ගීත, සංසාරි ප්‍රාර්ථනා ගායනා කරන අතීතය මිරිගුවකී, තරුෂි දෙව්මිණී ගායනා කරන කාසිවලට යන ගීත.

ඔබ වැඩිපුරම කැමති රංගනයටද? නැත්නම් ලේඛනයටද?
දෙකටම එක සමාන කැමැත්තක් තියෙනවා. මම රඟපාපු බොහෝ නිර්මාණවල තිර රචකයාත් මමයි. ඒක කලාතුරකින් ලැබෙන වාසනාවක්. මගේ මනසේ නිර්මාණය වූ වස්තු බීජයකට, මටම පණ පොවන්න අවස්ථාවක් ලැබිලා ඒක රූපවාහිනියේ විකාශය වෙනකොට අනෙක් අයට වඩා දෙගුණයක සතුටක් මට හිමියි.
මේ විවිධ කලා ක්ෂේත්‍රවල දස්කම් දක්වන්නේ ඔබ කලාව පිළිබඳ හැදෑරීමක් කරලාද?
ඔව්, මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිධාරියෙක්. ජාතික තරුණසේවා සභාවේ ලේඛකත්ව හා ජනසන්නිවේදන පාඨමාලාවත්, නිස්කෝ පාඨමාලාවත් හදාරා තියෙනවා. ඒ හැදෑරීම් මොනවා කළත්, චරිතයෙන් චරිතයට අත්දැකීම් තුළින් මම ප්‍රායෝගිකව ඉගෙන ගන්නවා.
ඔබ ආපු කලා මඟ ගැන තෘප්තිමත්ද?
ඇත්තටම මේ ආපු ගමන පහසු එකක් නෙමෙයි. ගොඩක් කැපකිරීම් කළා, දුක් වින්දා, බැනුම් ඇහුවා. මම කලාවෙන් මුදල් හම්බකරන්න හිතුවේ නැහැ, නිර්මාණයට දායක වීමෙන් ලබන සතුට තමයි අගය කළේ. ක්ෂේත්‍රයේ නමක් දිනා ගැනීමට ලැබීම භාග්‍යයක්.