Skip to main content

Mirror Lanka

මම එකම චරිත රාමුවකට කොටු වෙන්න කැමති නැහැ – නිරංජන් මධුරංග

මම එකම චරිත රාමුවකට කොටු වෙන්න කැමති නැහැ – නිරංජන් මධුරංග

සුන්දර ගම්පහ, වතුරුගම මේරිලන්ඩ් නම් සුන්දර ගම්මානයෙන් කලා ක්ෂේත්‍රයට අලුත් එළියක් එකතු වී තිබේ. ඔහු නමින් නිරංජන් මධුරංගය. තම ගම්මානයෙන් රංගන ක්ෂේත්‍රයට පිවිසි පළමු කලාකරුවා වීමේ ගෞරවය හිමිකරගෙන සිටින ඔහු, අද වන විට රූපවාහිනී තිරය ඔස්සේ ප්‍රේක්ෂක ආදරය දිනාගනිමින් සිටින දක්ෂ රංගන ශිල්පියෙකි.

රංගනයට පැමිණීමට මූලිකම ආසාව ඇතිවුණේ කොහොමද?

ඇත්තටම මට මුලින්ම ආසාව ඇතිවුණේ පාසල් කාලයේදී. මම පාසල් වේදිකා නාට්‍යවලට නිරන්තරයෙන් දායක වුණා. විශේෂයෙන්ම පාසලේ නාට්‍ය උළෙලකදී ‘දික්තල කාලගෝල’ නාට්‍යයේ ‘කාලගෝල’ චරිතය රඟපෑමෙන් පසුව මට ලොකු හොඳ ප්‍රතිචාරයක් ලැබුණා.

ක්ෂේත්‍රයට අවතීර්ණ වීම සිදුවුණේ කොහොමද?

ඒක අහම්බෙන් සිද්ධ වුණ දෙයක්. ‘කෝපි කඩේ’ ඩිංගි මහත්තයාගේ චරිතය රඟපාන ප්‍රවීණ රංගන ශිල්පී කේ.ඩී. සිරිපාල මහතා මා රැකියාව කරන ස්ථානයට නිතරම යන එන කෙනෙක්. ඔහු දිනක් මාව දැකලා “හැඩට ලස්සනට ඉන්න එකේ කැමති නැද්ද රඟපාන්න?” කියලා ඇහුවා. මගෙත් පුංචි ආසාවක් තිබුණ නිසා මාත් කිව්වා රඟපාන්න ආසයි කියලා. එහිදී ඔහු මාව සම්බන්ධ කරගත හැකි දුරකථන අංකය අරගෙන ගියා. දිනක් ඔහු තලවතුගොඩ පැත්තේ කෙරෙන රූපගත කිරීමක් බලන්න මට ආරාධනා කළා. ඒ අනුව මම ඒ රූපගත කිරීම් බලන්න ගිය වෙලාවේ මට අධ්‍යක්ෂ උපුල් සුදත් මහතාව මුණගැසුණා. ඔහුගේ ඇරයුමෙන් කේ.ඩී. සිරිපාල මහතාගේ පුතාගේ චරිතය රඟපාන්න මට එහිදී අවස්ථාව ලැබුණා. ඔය විදිහට තමයි මම රංගනයට සම්බන්ධ වුණේ.

මේ වන විට ඔබ දායක වී ඇති නිර්මාණ මොනවාද?

මම වැඩිපුරම දායක වෙලා තියෙන්නේ උපුල් සුදත් මහතාගේ අධ්‍යක්ෂණයෙන් ‘දිදුල’ රූපවාහිනියේ විකාශය වන පෝ දින නාට්‍යවලටයි. දැනටත් සෑම පෝ දිනකම වගේ ඒ නාට්‍ය හරහා ප්‍රේක්ෂකයින් අතරට යනවා. ඊට අමතරව දිදුල නාලිකාවේ ‘කැකුළි’ ටෙලි නාට්‍යයේ සහ ප්‍රගීත් රත්නායක මහතා අධ්‍යක්ෂණය කළ ‘ද වෝටර්’ කෙටි චිත්‍රපටයේ රඟපෑවා. නුදුරේම ප්‍රදර්ශනය වීමට නියමිත ‘ක්‍රිකට් සාදු’ චිත්‍රපටයටත් මම සම්බන්ධ වුණා.

ගොඩක් වෙලාවට ඔබව හාමුදුරුවන්ගේ චරිතවලට කොටු වෙලා වගෙයි දකින්න ලැබෙන්නේ?

ඔව්, දැනට ලැබුණ ගොඩක් නිර්මාණවල මම දායක වුණේ හාමුදුරුවන්ගේ චරිතවලට. නමුත්, මම කැමතියි ඒ රාමුවෙන් මිදිලා වෙනස් විදිහේ චරිත කරන්නත්. ‘කැකුළි’ කියන ටෙලි නාට්‍යයේ මම කළේ ගැමි තරුණයෙකුගේ චරිතයක්. ඒක මට වෙනස්ම විදිහේ අත්දැකීමක් වුණා. ඉතින් මම කැමතියි එකිනෙකට වෙනස් චරිත හරහා මගේ රංගන හැකියාවන් පෙන්වන්න වගේම හොඳ ගුණාත්මක නිර්මාණවලට සම්බන්ධ වෙලා වැඩ කරන්න.

ප්‍රවීණයන්ගෙන් ලැබුණු අත්දැකීම් සහ ඇගයීම් ගැන මතක් කළොත්?

ප්‍රවීණයන් එක්ක වැඩ කරන්න ලැබීම ලොකු වාසනාවක්. විශේෂයෙන්ම ‘ක්‍රිකට් සාදු’ චිත්‍රපටයේ මම පෙනී සිටි සුළු දර්ශන කිහිපය දැකලා, ප්‍රවීණ රංගන ශිල්පී ප්‍රියන්ත සිරිකුමාර මහතාගෙන් ලොකු ඇගයීමක් ලැබුණා. ඒ වගේම මෑතකදී ප්‍රගීත් රත්නායක මහතා මෙහෙයවන ‘ජයනද’ රංගන පාසලේ’ පැවැති සම්මාන උළෙලේදී මගේ රංගන කුසලතා වෙනුවෙන් සම්මානයක් ද හිමිවුණා. ඒක මගේ ගමනට ලොකු ශක්තියක්.

රැකියාවත් එක්ක රංගනය සමබරව කරගෙන යන්නේ කොහොමද?

ආයතන කළමනාකරුවෙකු ලෙස මට ලොකු වගකීමක් තියෙනවා. ඒත් කාලය නිසි ලෙස කළමනාකරණය කරගෙන රැකියාව කරන අතරතුරම රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා සාර්ථකව ඉදිරියට යන්නයි මගේ බලාපොරොත්තුව.

ඔබේ කලා ගමන හරි සුවිශේෂි එකක් නේද?

මගේ ගම ගම්පහ, වතුරුගම මේරිලන්ඩ් කියන සුන්දර ගම්මානය. ඒ ගමෙන් රංගනයට පිවිසි පළමු කලාකරුවා වෙන්න ලැබීම මට ලොකු ආඩම්බරයක්.

මේ ගමන පිටුපස සිටිමින් ඔබට සහය දුන් පිරිස ගැන මතක් කළොත්?

මේ මොහොතේදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනා මගේ පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය. අම්මා, තාත්තා වගේම මගේ බිරිඳ සහ මගේ මිතුරාගෙන් ලැබෙන සහය අමතක කරන්න බැහැ. ඊට අමතරව සිරිපාල අංකල්, මම රංගනයෙන් දායක වුණ පෝදින නාට්‍ය අධ්‍යක්ෂණය කළ උපුල් සුදත් මහතා සහ ප්‍රගීත් රත්නායක මහතාවත් ඉතා කෘතවේදීව මතක් කරනවා. මගේ රංගන හැකියාවන් පිළිබඳව ප්‍රතිචාර දක්වන්න වගේම මාව නිර්මාණවලට සම්බන්ධ කරගන්න කැමති අයට 077 9976480 අංකයෙන් මාව සම්බන්ධ කරගන්න පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *