Skip to main content

Mirror Lanka

“මාව එක ක්ෂේත්‍රයකට කොටු කරන්න එපා…” තුෂාරි උදයකාන්ති

“මාව එක ක්ෂේත්‍රයකට කොටු කරන්න එපා…” තුෂාරි උදයකාන්ති

සිතුවම් මතින්, රංගනයෙන් සහ තාලයට තබන පියවරෙන් ප්‍රේක්ෂක හදවත් දිනූ ඈ, කලා ලොවේ බහුවිධ කුසලතාවයෙන් බැබළෙන රංගන හා නර්තන ශිල්පිනී තුෂාරි උදයකාන්ති ය. පුංචි තිරයේ මෙන්ම සිනමා පට අතරද සිය අනන්‍යතාව සටහන් කළ ඇය, අපගේ වෙබ් අඩවිය සමඟ එක්වූ මොහොතයි මේ.


තුෂාරි කියන්නේ නර්තන ශිල්පිනියක්ද, නැත්නම් රංගන ශිල්පිනියක්ද?
මම ක්ෂේත්‍රයට එන්නේ රංගන ශිල්පිනියක් විදිහට. ඒත් පුංචි කාලේ ඉඳන්ම මට නර්තන හැකියාව තිබුණා. දැන් මම රංගනයට සහ නර්තනයට විතරක් සීමා නොවී ගායිකාවක් ලෙසත් කටයුතු කරනවා. ඒ නිසා මාව ‘කලා ශිල්පිනියක්’ ලෙස හඳුන්වනවාට මම වඩාත් කැමතියි.


ක්ෂේත්‍රයේ ආරම්භය සපුවූ ඒ මුල්ම මතකය ගැන මතක් කළොත්?
ප්‍රගීත් රත්නායක මහත්මයාගේ පෝ දින නාට්‍යයකින් තමයි මම මුලින්ම ප්‍රේක්ෂකයන් අතරට ආවේ. ‘දිදුල’ රූපවාහිනී නාලිකාවේ විකාශය වුණු ඒ නාට්‍යයේ නම ‘අඳුරු සේයා’. එහි ප්‍රධාන කාන්තා චරිතය නිරූපණය කරන්න මට අවස්ථාව ලැබුණා.


මේ දක්වා ඔබ සම්බන්ධ වුණු නිර්මාණ මොනවාද?
ප්‍රගීත් රත්නායක මහත්මයාගේ පෝ දින ටෙලි නාට්‍ය රැසකට මම දායක වුණා. ඊට අමතරව ‘හිරු’ නාලිකාවේ ’33 කාමරය’ ටෙලි නාට්‍යයේ කොටස් ගණනාවකටත්, දෙරණ, සිරස, ස්වර්ණවාහිනී නාලිකාවල විකාශය වූ කෙටි ටෙලි නාට්‍ය රැසකටත් රංගනයෙන් එකතු වුණා. ‘ලන්ඩන් අක්කා’ සහ ‘බෝඩිමේ මිස්ට වෙච්ච දේ’ මම රඟපෑ තවත් නාට්‍ය දෙකක්.


පුංචි තිරයෙන් ඔබ්බට ගොස් සිනමාවටත් එකතු වීමට ඔබට අවස්ථාව ලැබුණා නේද?
ඔව්, මුලින්ම ‘සිහින අහසේ ආදරේ’ චිත්‍රපටයේ වැලිකඩ බන්ධනාගාරයේ සිරකාරියකගේ චරිතයෙන් සිනමාවට ආවා. පසුව අර්ජුන් කමලනාත් මහතාගේ ‘දඩස්’ චිත්‍රපටයටත්, බංග්ලාදේශ චිත්‍රපටයකටත් සම්බන්ධ වුණා. දැනට මම චිත්‍රපට පහකට වඩා රඟපා තිබෙනවා. ඒ වගේම රත්නපුර LVH ප්‍රඩක්ෂන් ආයතනය කළ නිර්මාණ හරහාත් මට ඉහළ ජනප්‍රියත්වයක් ලැබුණා.


රංගනය, නර්තනය සහ ගායනය අතරින් ඔබ වැඩියෙන්ම බර තබන්නේ කුමන අංශයටද?
මම මුල් තැන දෙන්නේ රංගනයට. ඒත් නර්තනයට සහ ගායනයටත් එක වගේම සම්බන්ධ වෙනවා. මම කලාවට ආදරේ නිසා නිරන්තරයෙන්ම කලා කටයුතු එක්ක රැඳී සිටින්න කැමතියි.


කලාවට ආ හැටි සහ ඔබේ නර්තන කණ්ඩායම ගැන කිව්වොත්?
මම කලාවට ආවේ අහම්බෙන්. රූපලාවන්‍ය පාඨමාලාවක් හදාරද්දී හමුවුණු සඳරුවන් මල්ලි තමයි මාව ප්‍රගීත් රත්නායක මහත්මයාට හඳුන්වා දුන්නේ. නර්තනය පැත්තෙන් ගත්තොත් ‘Thushari with Dance’ නමින් මගේම නර්තන කණ්ඩායමක් තියෙනවා. මගේ මිතුරියන් තුන්දෙනෙක් එක්ක එකතු වෙලා අපි නර්තන කටයුතු කරගෙන යනවා.


ඉදිරි ගමන සහ ඔබට ශක්තියක් වූ පිරිස ගැන මතක් කරමුද?
රංගනය සහ නර්තනයට අමතරව ගායනයටත් මම ගොඩක් කැමතියි. ඉදිරියේදී ගායනයට වැඩි කාලයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ දක්වා ආපු ගමන ගැන ලොකු සතුටක් තියෙනවා. මට ක්ෂේත්‍රයට එන්න පාර හැදූ සඳරුවන් මල්ලිට, ප්‍රගීත් රත්නායක මහත්මයාට, LVH ප්‍රඩක්ෂන් හි ලක්ෂ්මන් මහතාට සහ මට උදව් කළ සැමටම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *