Skip to main content

Mirror Lanka

කැපිලි කෙටිලි මැදින් ආපු ගමනේ සැබෑ රසයක් තියෙනවා – සමන්ත කුමාර සුබසිංහ

කැපිලි කෙටිලි මැදින් ආපු ගමනේ සැබෑ රසයක් තියෙනවා – සමන්ත කුමාර සුබසිංහ

දේශීය මෙන්ම විදේශිය සිනමා නිර්මාණ, ටෙලි නාට්‍යය ගණනාවක රඟපාමින් වර්තමානය වන විට සහ නිරූපණ ක්ෂේත්‍රයට එක්ව සිටින තරුණ කලා ශිල්පියෙක් වූ සමන්ත කුමාර සුබසිංහට මෙවර අප ඉඩක් වෙන් කළා. කෙටි කාලයකින් තමන්ගේම සලකුණක් තැබීමට සමත් වූ මේ නැඟී එන රංගන හා නිරූපණ ශිල්පියා රංගනයට පමණක් සීමා නොවී, ප්‍රවීණ අධ්‍යක්ෂවරුන් යටතේ ශිල්ප හදාරමින් සම්මානනීය කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ නිර්මාණකරුවෙකු ලෙසද කලා ක්ෂේත්‍රය තුළ කැපී පෙණුනි.

කෙටි කාලයක් තුළදී ඔබ රංගන ක්ෂේත්‍රය තුළ ලොකු ගමනක් ආවා නේද?

මගේ රංගන දිවිය ආරම්භ වෙන්නේ හිරු නාලිකාවේ විකාශය වුණ 33 කාමරය ටෙලි කතා මාලාවේ ඇගේ කතාව කියන කතාංගය හරහා. ඊට පස්සේ මම ටෙලි නාට්‍යය කිහිපයකම වගේ රඟපෑවා. නම් වශයෙන් ගත්තොත් රැල්ලට වෙරළ ආදරේයි, හිරි පොද වැස්ස, සංගීතේ වගේම ටැක්සිකාරයා කියන ජනප්‍රිය ටෙලි නාට්‍යත් මා රංගනයෙන් දායක වුණු නිර්මාණ අතර තියෙනවා. ටැක්සිකාරයා නාට්‍යයේ මගේ කොටස් විකාශය වී අවසන්.ඉදිරියට ගල්කිස්ස නාට්‍යය ඇතුළු තවත් ටෙලි නාට්‍ය කිහිපයක්ම විකාශය වෙන්න තියෙනවා. ඒ වගේම රොන්සොයා, ඔබේ ඉන්න ඇවිත් යන්න, පාට කුරුල්ලෝ වැනි ජනප්‍රිය ටෙලි නාට්‍ය කිහිපයකටත් මට මේ වන විට කතා කරලා තියෙනවා. ඊට අමතරව මෑතකදී හිරු රූපවාහිනියෙන් ස්මරණ ටෙලි චිත්‍රපටය විකාශය වුණා, තවත් ටෙලි චිත්‍රපටයක් ඉදිරියේදී විකාශය වෙන්න නියමිතයි. යූ ටියුබ් ටෙලි නිර්මාණ කිහිපයකටත් මම සම්බන්ධ වුණා.

සමන්ත සිනමාවට දුන් දායකත්වය මොන වගේද?

මම සිනමා නිර්මාණ කිහිපයකටම දායක වෙලා තියෙනවා. විශේෂයෙන්ම සුපිරි බොලිවුඩ් සිනමා නළු අනිල් කපූර් රංගනයෙන් දායක වුණු බොලිවුඩ් චිත්‍රපටයක් සඳහාත් මෑතකදී රංගනයෙන් දායක වුණා. ඒක මගේ රංගන දිවියේ සුවිශේෂී කඩඉමක්. ඊට අමතරව ඉන්දීය කොලිවුඩ්/තෙළිඟු චිත්‍රපට කිහිපයකටත් මම සම්බන්ධ වුණා. නව අත්දැකීමක් විදිහට ලංකාවේ රූගත කළ හොලිවුඩ් චිත්‍රපටයක පොලිස් නිලධාරියෙකුගේ චරිතයක් කරන්නත් මට අවස්ථාව ලැබුණා. දේශීය සිනමාව ගත්තොත් රා වණා චිත්‍රපටයේ ආරක්ෂක භටයෙකුගේ චරිතයක්, චොක්ලට් චිත්‍රපටයේ දොස්තර චරිතයක් වගේම අසූව දශකයේ සිදුවීමක් ඇසුරින් කෙරෙන නව නිර්මාණයක පොලිස් SP මහතෙකුගේ චරිතයක් මම නිරූපණය කළා. මේ නිර්මාණ ඉදිරියේදී තිරගත වෙන්න නියමිතයි. එහිදී ජීවන් කුමාරතුංග, චන්න පෙරේරා, රොෂාන් රණවන, සාරංග දිසාසේකර වගේ ප්‍රවීණ හා ජනප්‍රිය රංගන ශිල්පීන් සමඟ වැඩ කරන්න ලැබීමත් ලොකු අත්දැකීමක්.

ඔබ රංගන ශිල්පියෙක් පමණද?

නැහැ, මේ වෙන කොට මම නිරූපණ පැත්තටත් සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඒ සඳහා මම Looks Model ආයතනයෙන් හැදෑරීම් සිදු කරලා, Model MTY Sri Lanka ඒජන්සියේ ලියාපදිංචි වුණා. ඉදිරියේදී ජාත්‍යන්තර මට්ටමේ නිරූපණ තරගාවලියකට මුහුණ දෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ගීත රූප රචනා වගේම ලයිෆ්බෝයි, විටජින්, ඩිමෝ හා ජෝයි ස්ටෝන් ඇතුළු වෙළෙඳ දැන්වීම් ගණනාවකටම මම දායක වුණා. ඉදිරි කාලයේදී රංගනයට වගේම නිරූපණයටත් ලොකු දායකත්වයක් දෙන්න බලාපොරොත්තු වෙනවා.

අධ්‍යක්ෂවරයෙක් වෙන හීනයකුත් සමන්තට තියෙනවා නේද?

එහෙම කිව්වොත් හරි. ඒ පැත්තට තියෙන ආසාව නිසාම මම ධර්මසේන පතිරාජ මහතා ළඟ වසරක් වගේ කාලයක් අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, කැමරාකරණය ඉගෙන ගත්තා. පස්සේ සුගත් මහදිවුල්වැව සහ ජයන්ත චන්ද්‍රසිරි යන ප්‍රවීණ අධ්‍යක්ෂවරුන් යටතේත් ඉගෙන ගන්න ලැබුණා. මම කැඩපත (2015) සහ පරිත්‍යාගය (2016) කියන කෙටි චිත්‍රපට දෙක අධ්‍යක්ෂණය කළා. ඒ දෙකටම විවිධ සම්මාන උළෙලවලදී ඇගයීම් සම්මාන ලැබුණා. මෑතකදී QR කියලා තවත් කෙටි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා, ඒකත් නුදුරේම නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. නළුවෙක් වගේම අධ්‍යක්ෂවරයෙක් විදිහට ඉදිරියට යන්න මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.

රංගන ශිල්පියෙක් විදිහට ආපු ගමන ගැන තෘප්තිමත්ද?

සතුටු වෙනවා වගේම දුක් වුණු අවස්ථාත් ගොඩක් තියෙනවා. කලා ක්ෂේත්‍රයේ අයගෙන් කැපිලි කෙටිලි නිතරම තිබුණා. අවස්ථා කිහිපයකදී ක්ෂේත්‍රය එපා වෙන තරමට කලකිරීම් ඇතිවුණා, ළඟම හිටපු අය පවා මාව වට්ටන්න හදපු අවස්ථා තිබුණා. කොහොම හරි ඒ හැමදේම ඉවසගෙන අද ආපු ගමන ගැන මම සතුටු වෙනවා. මල් මාවතකින් එනවට වඩා ගල් බොරළු පිරි මාවතකින් එන එකේ වටිනාකම වැඩියි, එතකොට තමයි ගමනේ සැබෑ රසය තියෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *