තමන්ගේ කලා හැකියාව උරගා බලන්න හොඳම තැන තමයි රෑන ක්‍රියේෂන් කියන්නේ – රන්ධිර් සිසිර විතාරනගේ
දක්ෂතාවලින් පිරි ඉතිරී යන නමුත්, තමන්ගේ හැකියාවන් සමාජගත කිරීමට නිසි මඟක් නොමැතිව ළතැවෙන නවක නිර්මාණකරුවන් ඕනෑ තරම් අප අතර සිටිති. එවැනි අප්‍රකට කලාකාමීන් සොයා ගොස්, ඔවුන්ගේ කුසලතාවන්ට පණ පොවා, ක්ෂේත්‍රය තුළ නිසි ඇගයීමක් ලබා දීමට පෙරමුණ ගත් අගනා ආයතනයක් කෙරෙහි අපගේ අවධානය යොමු විය. ඒ, වයඹ දිග සොඳුරු පුරවරයක් වන කුලියාපිටියේ පිහිටි රෑන ක්‍රියේෂන් කලායතනයයි. සාමාජික සාමාජිකාවන් අධික සංඛ්‍යාවක් පිරිවරා ගත් මෙම නිර්මාණශීලී කලා නිවස පිළිබඳවත්, එහි ගමනාගමනය පිළිබඳවත් කතාබහ කිරීමට අප හා එකතු වූයේ එහි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී රන්ධිර් සිසිර විතාරනගේය.

රෑන ක්‍රියේෂන් කලායතනයේ ආරම්භය සිදු වූයේ කොහොමද?
2019 වසරේ ජූනි 29 වැනිදා තමයි ‘රෑන’ හි පළමු මතක සටහන තැබෙන්නේ. මේක මගේම සිතේ ඇති වූ අදහසකට අනුව ආරම්භ වූ ගමනක්. මෙහිදී විශේෂයෙන් මතක් කළ යුතු පිරිසක් ඉන්නවා. සුගත් පතිරණ, විනෝත් සහ ඩිලන් දුරුතු යන මහත්වරුන් මුල සිටම මට මහත් ශක්තියක් වෙමින් මේ ආයතනය ගොඩනැගීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළා. එදා සිට අද දක්වාම නොකඩවා, නොයෙකුත් අභියෝග මැද වුවද අපි ඉතාම සාර්ථකව සහ කැපවීමෙන් මේ කලායතනය කරගෙන යනවා. ඒ කවුරු මගෙත් එක්ක ඉඳලා අතහැරලා ගියත් මාවත් නාරින දෙවියන් වහන්සේගේ කරුණාව නිසයි.
මෙම කලායතනයට සාමාජිකයන්ගේ එකතු වීම සහ ප්‍රවණතාව කෙබඳුද?
ආරම්භක වකවානුවේදී ඉතා සුළු පිරිසකින් පටන් ගත්තත්, අද වන විට 100කට අධික සාමාජික පිරිසක් අප වටා සෙනෙහසින් රොක් වී සිටිනවා. අපේ ආයතනයේ තියෙන විශේෂම දේ තමයි සාමාජිකත්වය ලබා ගැනීමට කිසිදු වයස් සීමාවක් නොමැති වීම. අවුරුදු 3ක සිඟිති දරුවාගේ සිට ඕනෑම වයසක පසුවන, කලාවට ආදරය කරන ඕනෑම අයෙකුට අපගේ දොරටු සෑම විටම විවෘතව පවතිනවා.
රෑන ක්‍රියේෂන් හරහා නවකයන්ට ලැබෙන විශේෂ අවස්ථා මොනවාද?
නර්තනය, ගායනය, රංගනය මෙන්ම හඬකැවීම් නිවේදනය ඇතුළු විවිධ අංශවලින් ඉදිරියට යන්න අලුත් අයට අවශ්‍ය පසුබිම සහ වේදිකාව සකසා දීම අපගේ ප්‍රධාන අරමුණයි. අප සතුව දැනට සාර්ථකව පවත්වාගෙන යන යූ ටියුබ් නාලිකාවන් දෙකක් රෑන ටීවී සහ රෑන එෆ්.එම් (FM) නමින් තියෙනවා. ඒ හරහා නිර්මාණය වන ටෙලි නාට්‍ය, කෙටි චිත්‍රපට, සංගීතමය වැඩසටහන්, පෝදින ධර්ම දේශනා සහ ‘යාග’ වැනි ගුවන් විදුලි නාට්‍ය ඒකාංගික ගුවන්විදුලි නාට්‍ය සඳහා කෙලින්ම දායක වී තමන්ගේ හැකියාවන් උරගා බැලීමට අපගේ සාමාජිකයන්ට පුළුල් අවස්ථාවක් හිමි වෙනවා.

නිර්මාණකරණයට අමතරව වෙනත් වැඩසටහන් සංවිධානය වෙනවාද?
අනිවාර්යයෙන්ම, නවකයින්ගේ දක්ෂතා අගය කිරීම උදෙසා අපි වාර්ෂිකව ‘රෑන බේස්ට් ආර්ටිස්ට්’ නමින් දැවැන්ත සම්මාන උළෙලක් පවත්වනවා. මෙවර සාර්ථකව පැවැත්වුණේ එහි තුන්වැනි අදියරයි. ඊට අමතරව ගායන හැකියාවන් ඇති අය වෙනුවෙන් ‘රෑන ගී දැහැන’ වැඩසටහනද, සාමාජිකයන්ගේ සුභසාධනය උදෙසා ‘රෑන සවිය’ මරණාධාර සහන සමිතියද අපි අති සාර්ථකව පවත්වාගෙන යනවා.
ආයතනයේ වර්තමාන නිල මඩුල්ල සහ උපදේශක මණ්ඩලය ගැන සඳහන් කළොත්?
සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ලෙස මා කටයුතු කරන අතර, විධායක අධ්‍යක්ෂිකා ලෙස අමාෂා දේශංජලිත්, නිෂ්පාදක කළමනාකරු ලෙස රංගන වීරසිංහත් කටයුතු කරනවා. චිත්‍රපට හා නාට්‍ය අංශය, නිවේදන අංශය , නර්තන අංශය, සංගීත අංශය සහ හඬකැවීම් අංශය ලෙස එක් එක් අංශයන් භාර නිලධාරින් කටයුතු කරනවා. එමෙන්ම අපගේ ප්‍රධාන උපදේශිකා ප්‍රවීණ රංගන ශිල්පිනී වසන්ති රන්වල් මහත්මිය, කුලියාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරිනී පුෂ්පා රංජනි මහත්මිය, නිවේදන ශිල්පී සුසිල් ජයසූරිය, හඬකැවීම් ශිල්පිනි දිලිනි චේතනා, ජ්‍යෙෂ්ඨ ආචාර්ය අකිල ජේ. හේරත් සහ පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ යන ප්‍රභූ මණ්ඩලයේ උපදේශක මඟපෙන්වීම අපට නිරන්තරයෙන් ලැබෙනවා. වසර හතකට අධික අතීතයක් ඇති සංස්කෘතික අමාත්‍යාංශයේ ලියාපදිංචි කලායතනයක් වන රෑන සමඟ එකතු වී තමන්ගේ කලා කුසලතා ඔපමට්ටම් කරගැනීමට කැමති ඕනෑම අයෙකුට 0717183470 හෝ 0707183470 (වට්සැප්) අංක හරහා අප හා සම්බන්ධ විය හැකියි. අවසාන වශයෙන් මා හටත් අප සංවිධානයටත් මෙම ස්ථානය දක්වා පැමිණීමට ධෛර්යය දුන් සර්ව බලධාරි දෙවියන් වහන්සේටද මා සමග එක් වූ සාමාජික සාමාජිකාවන් සහ සියලු නිලධාරී මණ්ඩලයටත් බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා