රැකියාව කරන ගමන් ලැබෙන අමතර කාලයෙන් තමයි මම මොඩලින් කරන්නේ – ඉන්සමාම්
පසුගිය වසර කිහිපය පුරාවට මෙරට නිරූපණ ක්ෂේත්‍රය තුළ තමන්ගේම වූ අනන්‍යතාවයක් ගොඩනඟා ගැනීමට සමත් වූ අපූරු තරුණයෙකු වෙනුවෙන් මෙවර අප ඉඩකඩ වෙන් කළා. ඔහු නමින්, වර්තමානයේ නිරූපණ ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් මොහොමඩ් ඉන්සමාම්.

නිරූපණ ක්ෂේත්‍රයට අඩිතාලම වැටුණේ කොහොමද?
මට කාලයක සිටම නිරූපණ ක්ෂේත්‍රයට එන්න ලොකු ආශාවක් සහ උනන්දුවක් තිබුණා. නමුත් මුල් කාලයේදී දෙමාපියන්ගෙන් ඒ සඳහා ලොකු කැමැත්තක් ලැබුණේ නැහැ. ඒ නිසා මම 2018 වසරේදී රැකියාව සඳහා කටාර් රාජ්‍යය බලා පිටත්ව ගියා. කොවිඩ් වසංගතය ආරම්භ වීමට පෙර කාලය මම ගත කළේ විදේශගතව. විදෙස්ගතව සිටියත් මගේ හිතේ තිබුණු ඒ කලාත්මක ආසාව සහ උනන්දුව නැති වුණේ නැහැ.
පාසල් අවධියේදී කලාවට සම්බන්ධ වුණාද?
නැහැ, පාසල් කාලයේදී මගේ වැඩි අවධානයක් යොමු වුණේ ක්‍රීඩාවට. විශේෂයෙන්ම මලල ක්‍රීඩා අංශයෙන් මීටර් 200 කෙටි ධාවන තරග ඉසව්වට තමයි මම සහභාගි වුණේ. පාසල වෙනුවෙන් ජයග්‍රහණ ගණනාවක් ලබා දෙන්න මට හැකියාව ලැබුණා. පාසල් අධ්‍යාපනයෙන් පසුව මම වසර හයක් විතර කරාතේ ක්‍රීඩාවේ නිරත වුණා. නමුත් රැකියාව සඳහා විදේශගත වීමත් සමඟ ක්‍රීඩාවෙන් තාවකාලිකව ඉවත් වෙන්න සිදු වුණා.
වෘත්තීය මට්ටමෙන් නිරූපණ ශිල්පය හදාරන්න පියවර ගත්තේ කොහොමද?
2023 වසරේදී මම නැවත ලංකාවට පැමිණියා. ඉන්පසුව මගේ හිතේ තිබුණු ආසාව ඉටු කරගැනීමේ පළමු පියවර ලෙස ත්‍රිකිලා ධරණි මහත්මියගේ Model Academy එකට සම්බන්ධ වෙලා ‘Photography Model’ කෙනෙක් විදිහට මේ ක්ෂේත්‍රය ගැන ක්‍රමවත්ව හදාරන්න ගත්තා. දැනට ඒ පාඨමාලාව සාර්ථකව අවසන් කර තිබෙනවා. ඉදිරියේදීත් ඇය යටතේ නිරූපණ කලාව පිළිබඳව තවදුරටත් හැදෑරීමට මම බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය: ක්ෂේත්‍රයට පිවිසී කෙටි කාලයක් තුළ ලැබුණු ඇගයීම් සහ ජයග්‍රහණ මොනවාද?
ක්ෂේත්‍රයට ඇවිත් කෙටි කාලයක් වුවත්, ප්‍රධාන පෙළේ ඡායාරූපකරණයන් රැසකට පෙනී සිටීමට මට අවස්ථාව ලැබුණා. ඒ වගේම මගේ පාඨමාලාව අවසානයේ පැවැත්වුණු ‘Top Model Miss and Mr Sri Lanka 2025’ තරගාවලියේදී හොඳම ‘Photography Model’ ලෙස තේරී පත්වීමට ලැබීම මම ලැබූ ලොකු ජයග්‍රහණයක්.
රැකියාවත් එක්ක මේ කටයුතු සමබරව කරගන්නේ කොහොමද? ඉදිරි බලාපොරොත්තු මොනවාද?
දැනට මම ලංකාවේ ප්‍රමුඛ පෙළේ නිමි ඇඳුම් ආයතනයක් වන හමිඩියා ආයතනයේ රැකියාව කරනවා. රැකියාවේ යෙදෙන අතරතුර ලැබෙන අමතර කාලය ඉතා හොඳින් කළමනාකරණය කරගනිමින් තමයි මම නිරූපණ කටයුතු සඳහා කාලය වෙන් කරන්නේ. ඉදිරියේදී සාර්ථක සහ වෘත්තීය මට්ටමේ නිරූපණ ශිල්පියෙකු ලෙස මෙරට විලාසිතා සහ කලා ක්ෂේත්‍රයට අර්ථවත් දායකත්වයක් ලබා දීම මගේ ප්‍රධාන බලාපොරොත්තුවයි.