Skip to main content

Mirror Lanka

රංගනය කියන්නේ මගේ වෘත්තිය නෙමෙයි ඒක මගේ විනෝදාංශයක් – නිලන්ත බාලසූරිය

රංගනය කියන්නේ මගේ වෘත්තිය නෙමෙයි ඒක මගේ විනෝදාංශයක් – නිලන්ත බාලසූරිය

කලා ක්ෂේත්‍රයේ ස්වකීය අනන්‍යතාව සටහන් කරමින් ඉදිරියට පැමිණෙන නැගී එන යොවුන් රංගන ශිල්පියෙකි නිලන්ත බාලසූරිය. පොළොන්නරුව පුලාස්තිගම උපත ලබා, අභයපුර මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇති ඔහු, යුද්ධ හමුදා සේවයේ නියුතු වෙමින් සිය කලා ජීවිතයට අඩිතාලම දමා ගත් අයෙකි. වේදිකා නාට්‍ය ඔස්සේ රංගනයට පිවිසි හෙතෙම, මේ වනවිට ටෙලි නාට්‍ය සහ සිනමා නිර්මාණ රැසකට දායක වීද ඇත.

නිලන්ත රංගනයට එන්නේ කොහොමද?

මම මුලින්ම ටෙලි නාට්‍යයකට ගිහිල්ලා රඟපෑවේ දෙරණ රූපවාහිනියේ ‘රෝස’ කියන නාට්‍යයේ චූටි කොටසකින්. ඒ විදිහට තමයි මම කලා ක්ෂේත්‍රයට ආවේ. ගොඩක් ආදරයෙන් මතක් කරන්න ඕනා ධනු අක්කාව. ඇය තමයි මාව ටෙලි නාට්‍යය අධ්‍යක්ෂක ප්‍රගීත් රත්නායක මහත්මයාව අඳුන්වලා දුන්නේ. ඒ හරහා මම දිගටම කලා කටයුතුවලට සම්බන්ධ වෙලා වැඩ කළා.

ඔබව අප කලා නිර්මාණ කිහිපයකම අපි දුටුවා?

මම දැනට මාස තුන හතරකට කලින් ඉන්දියාවෙන් ඇවිල්ලා චිත්‍රපටයක් කළා ලංකාවේ. ඒක, හින්දි චිත්‍රපටයක්. මට පොඩි චරිතයක් හම්බ වුණා ඒ චිත්‍රපටයේ කරන්න හැබැයි දෙබස් මුකුත් නැහැ. රූපගත කළේ ලංකා හොස්පිට්ල් එකේ. එහි මට කරන්න ලැබුණේ ඇටෙන්ඩන්ට් කෙනෙකුගේ චරිතයක්. මම හිතන්නේ ඒක මගේ කලා දිවියේ මට ලැබුණ සුවිශේෂි අත්දැකිමක් කියලා.  දෙරණේ ගිය ‘රෝස’ ටෙලි නාට්‍යයෙන් පස්සේ ආයෙත් දෙරණ රූපවාහිනියේ ගිය ‘ආදර වසන්තය’ කියලා ටෙලි චිත්‍රපටයකට සම්බන්ධ වුණා. ඒකෙත් මම පොඩි චරිතයක් තිබ්බේ. ඒ ටෙලි නාට්‍යයට මාව සම්බන්ධ කළේ මගේ හිතවත් මිතුරෙක්. ඊට අමතරව ප්‍රගීත් රත්නායක මහත්මයා අධ්‍යක්ෂණය කරපු දිදුල රූපවාහිනී යන පෝය දින නාට්‍ය හය, හතකට වගේ මම විවිධ චරිතාංග වලින් රංගනයෙන් දායක වෙලා තියෙනවා.

නළුවෙක් වෙන හීනේ ඇති වුණේ කොහොමද?

නළුවෙක් වෙන එක කලාවට සම්බන්ධ වෙන එක මගේ පොඩි කාලේ ඉඳලා තිබුණ හීනයක්. පාසල් යන කාලේ ඉඳලා වේදිකා නාට්‍ය කරලා තියෙනවා. මම උපන්නේ අති දුෂ්කර ගම්මානයක්, පොළොන්නරුව පුලාස්තිගම. ඒ කියන්නේ සෝමාවති පුරවරය, මායින් ගම්මානයක්. මම පාසල් ගියේ පොළොන්නරුව අභයපුර මහා විද්‍යාලයට. විශේෂයෙන්ම මගේ පාසල මම මතක් කරන්න ඕනා. මොකද, මගේ රංගන ගමනේ මුලික අඩිතාලම වැටුණේ මගේ පාසලෙන් නිසා.  පාසලේ වගේම ගමෙත් මම රංගන ශිල්පියෙක් හැටියට ප්‍රසිද්ධ වෙලා හිටියා. ගමේ පන්සලේ උත්සව කාලවලට අපි වේදිකා නාට්‍ය රඟ දක්වලා තියෙනවා. පාසල් අධ්‍යාපනය නිමාවෙලා මම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බැඳුණා. යුද්ධ හමුදාවේ ඉන්න කාලසීමාවෙත් වේදිකා නාට්‍ය කිහිපයකම මම සම්බන්ධ වෙලා වැඩ කළා.  

කලාව කියන්නේ නිලන්තගේ වෘත්තියද?

නැහැ මේක මගේ ප්‍රධාන වෘත්තිය නෙවෙයි. කලාවට මම පොඩි කාලේ ඉඳලා තිබුණ ආසාව නිසා තමයි ඊට සම්බන්ධ වෙලා වැඩ කරන්න හිතුණේ. ඇත්තටම මේක වෘත්තියක් විදිහට කරලා මුදල් උපයන්න මගේ අරමුණක් නැහැ. අනික මම කැමතියි මිනිස්සු අතර ජනප්‍රිය ඒ වගේම කැපී පෙනෙන කෙනෙක් වෙන්න. නළුවෙක් වුණාම මිනිස්සුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර රසවිඳින්න කැමතියි. අද වුණත් ගොඩක් අය මාව දන්නවා නළුවෙක් විදිහට. ඉතින් ඒක මට ලොකු සතුටක්.

ඔබ කලා පවුලකින් පැවත එන කෙනෙක් නේද?

ඔව්, මගේ බාප්පා තමයි උපතිස්ස බාලසූරිය කියන්නේ. ඒත්, මම මගේ බාප්පාගේ නම පාවිච්චි කරලා ටෙලි නාට්‍යයවල රඟපාලා නැහැ. ඒ වගේම තමා බාප්පා මට කතා කරලා අවස්ථා අරන් දීලත් නැහැ. මම මගේ හැකියාවෙන්ම තමයි මේ ක්ෂේත්‍රයට ආවේ. මම කලා පවුලකින් එන නිසා මම හිතනවා රංගනය කියන දේ මගේ ඇගේ තිබුණා කියලා. අද මම මගේම ගමනක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මම සතුටු වෙනවා ඒ ආපු ගමන මම තනිවම ආපු හින්දා.

දිගටම කලාවත් එක්ක රැඳෙන්නද අදහස?

ඔව්, මොන ක්ෂේත්‍රයක වැඩ කළත් කලාව සමග මම දිගින් දිගටම සම්බන්ධ වෙලා වැඩ කරන්න  කැමතියි. මොකද මම කලාවට ගොඩක් ආදරය කරනවා. කලාව තුළින් තමයි නිලන්ත බාලසූරිය කියන මාව අඳුන ගත්තේ. මේ ගමන එන්න ගොඩක් අය උදව් කළා. කලාව ගැන පොඩි හරි දැනුමක් මට ලබාගන්න පුළුවන් වුණේ ප්‍රගීත් රත්නායක මහත්මයා හරහා. එතුමා තමයි කොටින්ම කියනවා නම් මාව නළුවෙක් විදිහට කලා ක්ෂේත්‍රයට හදලා ගත්තේ. රඟපානවා කියන්නේ මොකක්ද කියලා මගේ හිතේ ආසාවක් තිබ්බට කැමරාවක් ඉදිරියට ගියාම කැමරාවට මුහුණ දෙන්නේ කොහොමද? දෙබස් මේවා කරන්නේ කොහොමද කියලා ඒ හැම දෙයක්ම ප්‍රගීත් රත්නායක මහතා තමයි අපිට කියලා දුන්නේ. ඉතින් එතුමා තමයි මගේ ගුරුතුමා. ඒ වගේම මේ ගමන එන්න උදව් කරපු හැමෝමත් ඉතාමත් ආදරයෙන් මතක් කර සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *