මගේම අනන්‍යතාවයක් තියෙන වෙනස්ම සංගීතයක් අරන් එන්න මම ලෑස්තියි – මලීෂ පන්සිළු
සංගීතයට ඇති ආදරය සහ කැපවීම නිසාම සිය කුළුඳුල් සංගීත නිර්මාණය හරහා රසික හදවත් වෙත සමීප වූ නව පරපුරේ නැගී එන කලාකරුවෙකු වන මලීෂ රන්සිළුට මෙවර අපගේ වෙබ් අඩවියෙන් මෙසේ ඉඩක් වෙන් කළා. මේ දිග හැරෙන්නේ ඔහුගේ සංගීත ගමනේ ආ කතාවයි.

ඔබේ පළමු සංගීත නිර්මාණය එළිදැක්වීමත් සමඟ ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
ඇත්තටම ගොඩක් සතුටුයි! මේක මගේ හිතේ ගොඩක් කාලයක් තිබුණු ලොකු හීනයක්. මේ ගීතය මට නිකම්ම සින්දුවක් විතරක් නෙවෙයි; මගේ හීන, හැඟීම්, මහන්සිය, කැපවීම සහ සංගීතයට තියෙන ආදරය එකතු වුණු මගේ ජීවිතයේ පළමු පියවරයි. පළවෙනි නිර්මාණයටම මේ තරම් ලස්සන ප්‍රතිචාර ලැබෙයි කියලා මම ඇත්තටම බලාපොරොත්තු වුණේ නැහැ. ලැබුණු හැම ප්‍රතිචාරයක්ම කියවද්දී මට හිතෙනවා තවත් හොඳ නිර්මාණ ඉදිරියටත් කරන්න ඕනේ කියලා.
ඔබේ සංගීත ගමනේ මුලාරම්භය ගැන මතක් කළොත්?
මම පොඩි කාලේ ඉඳන්ම සංගීතයට ගොඩක් ආදරය කළා. මගේ පාසල් ජීවිතය ගත කළේ පදුක්ක සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලයේ. පාසලෙන් ලැබුණු අත්දැකීම්, සංගීතය වෙනුවෙන් ලැබුණු අවස්ථා, ගුරුවරුන්ගෙන් ලැබුණු නිවැරදි මඟපෙන්වීම සහ මිතුරන්ගෙන් ලැබුණු සහයෝගය මගේ මේ ගමනට විශාල ශක්තියක් වුණා.
මේ ගමන පිටුපස සිටින ඔබේ ශක්තිය කවුද?
ප්‍රධානම දේ මගේ පවුලේ අය. මගේ හීනය විශ්වාස කරලා, මම සංගීතය වෙනුවෙන් කරන දේවල්වලට සහයෝගය දීලා, මම වැටෙන හැම වෙලාවකම නැගිටින්න ශක්තිය දුන්නේ මගේ ගෙදර අයයි. ඒ වගේම මගේ යාළුවන්. මගේ ගීත අහලා, අදහස් දීලා, “උඹට මේක කරන්න පුළුවන්” කියලා මාව දිරිමත් කරපු ඒ පුංචි පුංචි වචන මගේ ගමන වෙනස් කරන්න ලොකු බලපෑමක් කළා. ඔවුන් හැමෝටම මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.
සංගීත ක්ෂේත්‍රය තුළ ඔබේ ඉදිරි බලාපොරොත්තු සහ අනන්‍යතාවය කෙබඳුද?
මම සංගීතය තුළින් ගායකයෙක්, ප්‍රධාන ගිටාර් වාදකයෙක්, ඩ්‍රම්ස් වාදකයෙක්, සංගීත සංයෝජකයෙක් සහ නිර්මාණකරුවෙක් විදිහට මගේ හැකියාවන් තව තවත් දියුණු කරගන්න උත්සාහ කරනවා. මගේම අනන්‍යතාවයක් තියෙන සංගීත නිර්මාණ කිරීම තමයි මගේ ප්‍රධාන අරමුණ.

ඔබ සංගීත නිෂ්පාදනය පැත්තටත් යොමු වෙලා ඉන්නවා නේද?
ඒ ගැන විස්තරයක් කළොත්? ඔව්, සංගීත නිෂ්පාදනය කියන්නේ මගේ සංගීත ගමනේ ගොඩක් වැදගත් පැත්තක්. සංගීත නිෂ්පාදනය කියන්නේ සංගීතය එකතු කරන එක විතරක් නෙවෙයි; ගීතයක අදහස, හැඟීම සහ රසය තේරුම් අරගෙන, ශ්‍රව්‍ය රටාව නිවැරදිව ගොඩනඟලා, සංගීත සංයෝජනයේ ඉඳන් ශබ්ද පටිගත කිරීම, සකස් කිරීම, ශබ්ද මුසු කිරීම සහ අවසාන නිමාව ලබා දීම දක්වා ගීතයක් සම්පූර්ණ නිර්මාණයක් බවට පත් කරන නිර්මාණාත්මක ගමනක්. මේ ක්ෂේත්‍රයට මම අලුතින් පිවිසෙන අතරතුරම, නව පරපුරේ ජනප්‍රිය ගායකයෙකුගේ ගීතයක් සංගීත නිෂ්පාදනය කරන්නත් මට අවස්ථාවක් ලැබුණා. වෙනත් කලාකරුවන්ගේ අදහස් සහ ඔවුන්ගේ සංගීත අනන්‍යතාවය තේරුම් අරගෙන ඒකට ගැළපෙන විදිහට නිර්මාණය කිරීම මට ගොඩක් වටිනා අත්දැකීමක් වුණා. ඉදිරියටත් මගේම ගීත විතරක් නෙවෙයි, වෙනත් කලාකරුවන් සමඟ එකතු වී ඔවුන්ගේ ගීතවලට වෙනස්ම සංගීතමය අනන්‍යතාවයක් ලබා දෙමින් සංගීත නිෂ්පාදනය කරන්න මම බලාපොරොත්තු වෙනවා.
අවසාන වශයෙන් රසිකයින්ට කියන්න තියෙන්නේ මොකක්ද?
මේක ආරම්භය විතරයි. ඉදිරියටත් තවත් අලුත්, ලස්සන, හදවතට දැනෙන සහ වෙනස්ම රසයක් තියෙන ගීත රැසක් මගේ උපරිම ගුණාත්මකභාවයෙන් අරගෙන එන්න මම ලෑස්තියි. මගේ ඉදිරි නිර්මාණ සියල්ල නරඹන්න සහ එකතු වෙන්න මගේ Maleesha Pansilu (MALEESHA) යූ ටියුබ් නාලිකාව සමග එකතු වෙන්න කියලා හැමෝටම මම ආරාධනා කර සිටිනවා.