මම කලාවට එන්නේ වාදකයෙක් සහ ගායකයෙක් විදිහට – රංග රොක්ස්
වාදනය, ගායනය වගේම රංගනය මේ හැම ක්ෂේත්‍රයකම එකලෙස දක්ෂතා දක්වන අපූරු තරුණයෙක් තමයි රංග රොක්ස් කියන්නේ. ජීවිතයේ විවිධ හැලහැප්පීම් මැදින්, තමන්ගේම ස්වඋත්සාහයෙන් නැවතත් ප්‍රසංග වේදිකාව සහ කලා ලොව ජයගන්න වෙහෙසෙන රංගට මෙවර කලාපයෙන් අප මෙසේ ඉඩක් වෙන් කළා.

රංග කියන්නේ කවුද. අපි මුලින්ම ඔබ ගැන දැනගන්න කැමතියි..
මගේ නම රංග, හැමෝම අඳුරන්නේ ‘%රංග රොක්ස්’ විදිහට. දැනට මම කොණ්ඩා කැපීම, විලාසිතා දැමීම සහ හැඩගැන්වීම වෘත්තියක් විදිහට කරගෙන යනවා. ඒක තමයි මගේ ප්‍රධාන ජීවනෝපාය. ඊට අමතරව ගායකයෙක්, වාදකයෙක් වගේම වර්තමානය වන විට රංගන ශිල්පියෙක් විදිහටත් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා ඉන්නවා.
කොණ්ඩා විලාසිතා ශිල්පියෙක් වුණු රංග කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ කොහොමද..
මම කලාවට එන්නේ වාදකයෙක් සහ ගායකයෙක් විදිහට. පාසල් යන කාලේ ඉඳන්ම මට වාදනය හා ගායනය ගැන ලොකු කැමැත්තක් තිබුණා. ඒ නිසාම වයස අවුරුදු 15 දී ඔක්ටපෑඩ් වාදකයෙක් විදිහට මම ‘ෆලවර් ෂයින්’ කියන සංගීත කණ්ඩායමට සම්බන්ධ වුණා. ඒක තමයි මගේ කලා දිවියේ ආරම්භය. ඊට පස්සේ තවත් සංගීත කණ්ඩායම් කිහිපයක් සමගම වැඩ කරන්න මට අවස්ථාව ලැබුණා.
ගායකයෙක් විදිහට ඔබගේම කියලා නිර්මාණයක් එළිදැක්වූවේ..
මගේම කියලා පළමු ගීතය නිකුත් කළේ මීට වසර දෙකකට පෙරදී. ඒකේ නම ‘ආදරයේ උණුසුම්…’. විශේෂත්වය තමයි ඒ ගීතය මගේම ජීවිත කතාව අලලා මා විසින්ම පද රචනා කරපු එකක්. ඒකට සංගීතය මුසු කළේ දසුන් බුද්ධික සහෝදරයා. ඊට පස්සේ මම ‘වෙන කාගෙවත් වීලා…’ කියලා තවත් ගීතයක් කළා. නමුත් ඒ ගීතය තවම එළිදක්වන්න අවස්ථාවක් ලැබුණේ නැහැ.

මෑතකදී අපිට ඔබව රූප රචනාවලිනුත් දැකගන්න ලැබුණා..
මම රංගනයටත් ගොඩක් ආසයි. මුලින්ම රඟපෑවේ මේ දිනවල හැමෝම කතා කරන කාංචනා අනුරාධිගේ ‘මනමාල කතා’ ගීතයට නිර්මාණය වුණ ගීත රූප රචනාවේ. ඒ අවස්ථාව මට ලබා දුන්නේ එහි අධ්‍යක්ෂක චමිල් පතිරණ මහත්මයා. ඊට අමතරව ඉදිරියේදී නිකුත් වෙන්න තියෙන, හේමාල් රණසිංහ රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටයකත් මම සුළු චරිතයක් කළා. තව වැඩ කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා, ඒවා තවම සාකච්ඡා මට්ටමින් තියෙන්නේ. ලොකු ආසාවකින් ඉන්නවා ඉදිරියේදී හොඳ නිර්මාණවලින් දක්ෂ රංගන ශිල්පියෙක් වෙන්න.
සාර්ථකව වැඩ කරගෙන යන අතරතුර ඔබ එක්වර විදෙස්ගත වෙනවා. ඒ හරහා ඔබගේ කලා ගමනට බලපෑමක් වුණේ නැද්ද..
ඔව්, මම එකවරම වසරක කාලයකට විදෙස්ගත වුණා. ඒකෙන් මම කරගෙන ආපු හැම කලා කටයුත්තක්ම වගේ මට මඟහැරුණා. ආපහු ලංකාවට ආවත් මම කරගෙන ආපු වැඩ ටික පෙර තිබ්බ විදිහටම හරියට කරගන්න බැරි වුණා. දැනට මම මගේ රැකියාව කරන ගමන් තමයි අමාරුවෙන් කලා කටයුතුවලට ඉඩ හදාගන්නේ. නමුත් මට ආයෙත් මගේ පරණ තත්ත්වයට එන්න ඕනේ. නැවතත් ප්‍රසංග වේදිකාවට ශක්තිමත්ව ගොඩවෙන්න තමයි මගේ බලාපොරොත්තුව.
අවසාන වශයෙන් ජීවිතය දෙස ආපසු හැරී බලද්දී රංගට මොකද හිතෙන්නේ..
ජීවිතේ මම වැටුණු, වැරදුණු අවස්ථා ගොඩක් තියෙනවා. හැබැයි ඒ හැමදේම හදාගෙන මගේම ස්වඋත්සාහයෙන් ආයෙත් නැගිටින්න මට අවශ්‍යයි. අතිතයේ සිදුවු සිදුවීම් අතිතයට භාර කරලා අනාගතය සුබදායි එකක් කරගන්නයි මට ඕනා කරන්න. මේ ගමන එන්න මට උදව් කරපු පර්පල් රේන්ජ් කණ්ඩායමේ හිටපු හේෂාන් තරංග සහෝදරයාවත්, මාව රංගනයට යොමු කරපු චමිල් පතිරණ මහතාවත්, වචනයකින් හරි මාව දිරිමත් කරපු හැමෝමවත් මම ආදරයෙන් මතක් කරනවා.