Skip to main content

Mirror Lanka

කලාකරුවෙකුට සීමා නෑ… තව දිගු ගමනක් යන්න ආසයි – සංජීව මහලියනගේ කියන කතාව

කලාකරුවෙකුට සීමා නෑ… තව දිගු ගමනක් යන්න ආසයි – සංජීව මහලියනගේ කියන කතාව

වෘත්තියෙන් ග්‍රාම සේවා නිලධාරිවරයෙකු ලෙස ජනතා සේවයේ යෙදෙන සංජීව මහලියනගේ යනු වර්තමානයේ පුංචි තිරය තුළ නිතරම දකින, ප්‍රේක්ෂක ආදරය දිනාගත් දක්ෂ රංගන ශිල්පියෙකි. අතිශය ජනප්‍රිය වූ ‘නාඩගම්කාරයෝ’ ටෙලි නාට්‍යයේ මාලන්ගේ පියාගේ චරිතයෙන් රූපවාහිනී ප්‍රේක්ෂකයන් හමුවට පැමිණි ඔහු, අද වන විට නිර්මාණ රාශියක් ඔස්සේ සිය රංගන පරාසය සලකුණු කර හමාරය. මේ, ඔහුගේ කලාත්මක ගමන සහ අලුත්ම තොරතුරු පිළිබඳව අප ඔහු සමග කළ පිළිසඳරයි.

මෑත කාලයේ  ඔබව අප නිතරම පුංචි තිරයෙන් දකිනවා?

ඔව්, මේ දිනවල නිර්මාණ කිහිපයකටම දායක වෙමින් කාර්යබහුලව කාලය ගත කරනවා. ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ප්‍රගීත් ද සිල්වා මහතාගේ ‘දෙයියන්ගේ පීහිටයි’, දෙරණ නාළිකාවේ විකාශය වන ශ්‍රියන්ත ප්‍රසාද් රත්නායක මහතාගේ ‘හුස්මක් ළඟින්’ ටෙලි නාට්‍යවල මෙන්ම ඉදිරියේදී විකාශය වීමට නියමිත ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහතාගේ ‘ඇදබාස්’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් කටයුතු සමඟින් මේ දිනවල කාලය ගතවෙනවා.

නාඩගම්කාරයෝහි මාලන්ගේ පියා ලෙස ඇරඹි ඒ ගමන මතක් කළොත්?

ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහතාගේ ‘නාඩගම්කාරයෝ’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබෙන්නේ චන්දන පිරිස් මහතාගේ සුහද ආරාධනාවකට අනුවයි. මම කාර්යාලයේ වැඩ කරමින් ඉන්න අතරතුරයි ඒ ආරාධනාව ලැබුණේ. ඒක අහම්බයක් වුණත්, මාලන්ගේ (කෝකිල පවන්) තාත්තාගේ චරිතය කියන්නේ මගේ පළමු ටෙලි නාට්‍ය රංගනය විදිහට මට ලැබුණු ඉතාම හොඳ චරිතයක්.

පාසල් අවදියේදීත් ඔබ වේදිකා රංගනයට දක්ෂයෙක් නේද?

අනිවාර්යයෙන්ම. මගේ රංගන කලා ජීවිතයේ පදනම වැටෙන්නේ පාසල් අවදියේදී. බෝකුන්දර ශ්‍රී ප්‍රඥාසීහ දහම් පාසලේ නිවාසාන්තර නාට්‍ය තරඟයකින් තමයි මම මුලින්ම වේදිකාවට පා තබන්නේ. එහිදී මම හොඳම නළුවා ලෙස සම්මාන ලැබුවා. පසුව කොළඹ ලුම්බිණි විද්‍යාලයේ කලා උළෙලවලදී 11 ශ්‍රේණිය දක්වාම දිගටම හොඳම නළුවා ලෙස සම්මාන දිනාගන්න මට හැකිවුණා. උසස් පෙළ සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වූ පසු සහන් රන්වල, භානුක මනෝරත්න වැනි දක්ෂයන් සමඟ කටයුතු කරන්න ලැබුණා. ඒ වගේම මම ප්‍රේමකුමාර කරුණාරත්න මහතාගේ හොඳ ගෝලයෙක්. පාසල් අවදියෙන් ලැබුණු ඒ පදනම මගේ නාට්‍ය ජීවිතයට ලොකු ශක්තියක් වුණා.

ඔබ රංගනයට පිවිසෙන්නේ නිවැරදිම කාලයේදීද?

ඔව්, මම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට එන්නේ අවුරුදු 43දී. මම හිතන්නේ ඒක මට ලැබුණු හොඳම අවදිය කියලයි. මොකද තරුණ කාලයේදී ආවා නම් මෙහි තියෙන අභියෝග, ගැහැට දරාගන්න බැරුව ක්ෂේත්‍රය අතහැරලා යන්නත් ඉඩ තිබුණා. නමුත් අවුරුදු 43 කියන්නේ හොඳ පරිණත, මැදි වයසක්. ඒ නිසා මට ලැබුණු මේ අවස්ථාව හොඳම වයසේදී ලැබුණු වාසනාවක් ලෙස මම දකිනවා.

දැනට ඔබ දායක වුණු නිර්මාණ මොනවාද?

‘නාඩගම්කාරයෝ’ නාට්‍යයෙන් පස්සේ තරංග නිරිඇල්ල සහ නාලක කුරුප්පුආරච්චි යන මහත්වරුන්ගෙන් මට කලා නිර්මාණ සඳහා සම්බන්ධ වෙන්න ලොකු සහයෝගයක් ලැබුණා. ඒ වගේම මහේන්ද්‍ර විජේරත්න හරහා තුෂාර පෙරේරා හමුවීම ඒ තුලින් උපුල් ඩයස් මහතා වෙත යොමුවීම රංගන ක්ෂේත්‍රයේ මගේ හැරවුම් ලක්ෂය කියලා කියන්න පුළුවන්. මේ වන විට නාට්‍ය 40 කට ආසන්න සංඛ්‍යාවකට මම රංගනයෙන් දායක වී තිබෙනවා. ඒ අතර පරපුරුපෙම, මගේම දෝ, ආලවන්ති, රාග, පැබ්ලෝ, සැලෙනානුවන්, ආලේ, මා, ජැෆ්නාදරය, කළු අහස, රට පවුල, ගේට්ටුවා වැනි නාට්‍ය කිහිපයක්ම වෙනවා.

ටෙලි නාට්‍යවලට අමතරව ඔබ සිනමාවටත් දායක වුණා නේද?

ඔව්, සිනමා නිර්මාණ රැසකටත් දායක වෙන්න ලැබුණා. දැනට තිරගත වූ ‘සිහින නෙළුම් මල්’ සහ ‘කාසි වාසි’ චිත්‍රපටවලට අමතරව, ඉදිරියේදී තිරගත වීමට නියමිත ‘එදා රෑ’ සහ ‘හනිමූන් ටුමාරෝ’ යන චිත්‍රපටවලටත් මම රංගනයෙන් දායක වුණා.

ආපු ගමන දිහා හැරිලා බලද්දී මොකද හිතෙන්නේ?

ඕනෑම ක්ෂේත්‍රයක වගේම මෙහිත් බාධක, කටුකොහොල් තිබුණා. සමහර වෙලාවට අපි කරපු චරිත වෙන අය ලවා ‘රි-ෂූට්’ කරපු අවස්ථා තිබුණා, උදේ ඉඳන් රෑ ජාමය වෙනකන් රූපගත කිරීම්වලට කැපවෙන්න සිද්ධ වුණා. හැබැයි ඒ කිසිවක් මම දුකක් විදිහට ඇඟට ගත්තේ නැහැ. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ, ක්ෂේත්‍රයේ සමහර අය සම්බන්ධීකරණ ශිල්පීන් ගැන විවේචනාත්මකව කතා කළත්, මම අද මෙතන ඉන්නේ ඔවුන් නිසා. පළමු වැඩ දෙකෙන් පස්සේ වසරක් දෙකක් මට වැඩ නැතුව ඉද්දී පොලිස් චරිත සඳහාමට එකතුවෙන්න අවස්ථාව හදලා දුන්නේ උපුල් ඩයස් මහත්මයා. ඊට අමතරව දිල්රූක්ෂි වීරපරාක්‍රම, පද්මා මෙන්ඩිස් වැනි ප්‍රවීණයන් ඇතුළු දිල්රූ, ජයන්ති, රෝහණ, උදාරි, දිනේෂ්, බණ්ඩාර ඇතුළු කණ්ඩායම මට චරිත ලබාගන්න ලොකු සහයක් දුන්නා. අලුතෙන් ක්ෂේත්‍රයට එන කෙනෙකුට කෝඩිනේටර්ස්ලා කියන්නේ ලොකු හයියක්.

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

මේ වන විට චරිත රැසකට දායක වෙලා තිබුණත්, කලාකරුවෙක් විදිහට මම කිසිම සීමාවකට කොටු වෙන්න කැමති නැහැ. හොඳ චරිතවලට දායක වෙමින් ටෙලි නාට්‍ය සහ සිනමා ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යාමයි මගේ එකම බලාපොරොත්තුව. ඒ සඳහා දැනටමත් මට හොඳ ඉඩප්‍රස්ථාවක් විවර වී තිබෙනවා කියලා මම විශ්වාස කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *