“මෝස්තර නිරූපණය කියන්නේ බාහිර පෙනුම විතරක් නෙවෙයි, ඒක වෘත්තීයමය කලාවක්” – චාමින්ද ජයවර්ධන
මෝස්තර නිරූපණය කියන්නේ හුදෙක් අලංකාර ඇඳුම් පැළඳුම් නිරූපණය කිරීමක් විතරක් නෙවෙයි. එය පෞරුෂය, ආත්ම විශ්වාසය සහ නිර්මාණශීලීත්වය එකට කැටි වූ අපූර්ව කලා මාධ්‍යයක්. කාලයක් තිස්සේ නිරූපණ ක්ෂේත්‍රය තුළ කටයුතු කරමින් මේ වන විට ජාත්‍යන්තර තෙළිඟු සිනමාව දක්වාම සිය ගමන් මඟ විවර කරගත් ඔහු, වර්තමාන තරුණ පරපුරේ නැගී එන සුවිශේෂී කලාකරුවෙක්. නමින් චාමින්ද ජයවර්ධනය. මේ දිග හැරෙන්නේ ඔහුගේ කතා බහයි.
ඉදිරියේදී සූදානම් වෙන නවතම නිර්මාණ සහ කලා කටයුතු මොනවාද?
මෝස්තර නිරූපණ ශිල්පියකු ලෙස ඉදිරියේදී පැවැත්වෙන ප්‍රධාන තරගාවලියකට මුහුණදෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මගේ ජීවිතයේ ලොකුම අත්දැකීමක් විදිහට ඉදිරියේදී නිෂ්පාදනය වන තෙළිඟු චිත්‍රපටයකට රංගනයෙන් එක්වීමට අවස්ථාව ලැබුණා. එය මගේ පළමු සිනමා රංගනය. මෝස්තර නිරූපණය හා රංගනය කියන්නේ මගේ ලොකුම හීනයක්. ඒ වෙනුවෙන් මම උපරිමයෙන්ම මහන්සි වෙනවා.

මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේ ආරම්භය සිදුවුණේ කොහොමද?
2025දී මම ත්‍රිකලා ධරණි මහත්මිය යටතේ මෝස්තර නිරූපණය පිළිබඳ මූලික පාඨමාලාව හදාරනවා. ඉන්පසුව උසස් පාඨමාලාව සඳහා වාසනා දන්තනාරායන මිස් ළඟට යනවා. එතැනදී තමයි මගේ දිවියේ සැබෑ හැරවුම් ලක්ෂ්‍යය සිදුවන්නේ. එහිදී මට සමන්ත ගුණසේකර සර් හමුවුණා. ඔහු තමයි මට මුලින්ම ස්වර්ණවාහිනියේ ආයුබෝවන් ශ්‍රී ලංකා වැඩසටහනට නිරූපණ ශිල්පියකු ලෙස පෙනී සිටින්න අවස්ථාව ලබා දෙන්නේ. එය තමයි මගේ මුල්ම රූපවාහිනී වැඩසටහන සහ මුල්ම මෝස්තර නිරූපණ දායකත්වය.
මේ ගමන් මඟේදී හිමිවුණු සුවිශේෂී සංධිස්ථාන මොනවාද?
අනිවාර්යයෙන්ම. රූපවාහිනිය වගේම ප්‍රසිද්ධ පුවත්පත් සඳහාත් නිරූපණ ශිල්පියකු ලෙස පෙනී සිටීමේ අවස්ථා මට හිමිවුණා. විශේෂයෙන්ම තරුණි සහ සිරිකත පුවත්පත් සඳහා. එය නිරූපණ ශිල්පියකු ලෙස මා ලැබූ ඉතාමත් සුවිශේෂී අවස්ථාවක්.
ඔබ අවුරුදු කුමරා ලෙසත් කිරුළු පැළඳුවා නේද?
ඔව්, 2025 ඩිජිටල් අවුරුදු කුමරා ලෙසත්, 2026 කැලණි නදී අවුරුදු කුමරා තරගයේ තෙවැනි ස්ථානයත් මට ලබාගැනීමට හැකිවුණා. එයත් මගේ සිතේ කාලයක් තිස්සේ තිබුණු ලොකු හීනයක්.
දේශිය මෝස්තර නිරූපණ කලාව ගැන ඔබට මොකද සිතෙන්නේ?
ලංකාවේ සංස්කෘතිය, සම්ප්‍රදායන් සහ නවීන විලාසිතා එකට එක් කරමින් නිර්මාණශීලීත්වය, ආත්ම විශ්වාසය සහ වෘත්තීයමයභාවය ප්‍රකාශ කරන කලාත්මක ක්ෂේත්‍රයක් විදිහටයි මම දකින්නේ. එය ඇඳුම් ප්‍රදර්ශනය කිරීමම පමණක් නෙවෙයි. නිර්මාණකරුවන්ගේ අදහස්, සමාජයේ විවිධත්වය සහ ශ්‍රී ලංකාවේ අනන්‍යතාව ලෝකයට ඉදිරිපත් කරන මාධ්‍යයක්. ඒ වගේම නිරූපණ ශිල්පීන්ට සිය දක්ෂතා සහ පෞරුෂය ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව සලසන, නිරන්තරයෙන් වර්ධනය වන කර්මාන්තයක්.
දේශිය සහ ජාත්‍යන්තර මෝස්තර නිරූපණයේ යම් සමානකම් හා අසමානකම් ඔබ දකිනවද?
ඔව්, සමානකම් වගේම අසමානකම් තියෙනවා. සමානකම් ගැන කීවොත් මේ දෙකෙහිම ප්‍රධාන අරමුණ වන්නේ ඇඳුම්, ආභරණ සහ විලාසිතා නිර්මාණ ප්‍රේක්ෂකයාට ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කිරීමයි. ශාරීරික යෝග්‍යතාව සහ වෘත්තීයමයභාවය දෙකටම අවශ්‍යයි. අසමානකම් ගැන කීවොත්, ජාත්‍යන්තරයේ විශාල වෙළෙඳපොළක් සහ ඉහළ ආදායම් අවස්ථා තිබුණත් ලංකාවේ වෙළෙඳපොළ ඊට සාපේක්ෂව කුඩයි. ලාංකේය ක්ෂේත්‍රයේදී සංස්කෘතික අනන්‍යතාව රැකගන්නා අතර, ජාත්‍යන්තරයේදී නව ප්‍රවණතා වේගයෙන් වර්ධනය වෙනවා.

මේ ක්ෂේත්‍රය පිළිබඳ සමාජයේ තියෙන්නේ තරමක් වෙනස් මතයක් නේද?
ඒ ගැන සමාජයේ විවිධ අදහස් තියෙනවා. ඇතැමෙක් මෙය බාහිර පෙනුමට පමණක් සීමා කරලා දකිනවා. නමුත් සමහරු මෙය කලාවක් සහ වෘත්තියක් ලෙසත් දකිනවා. මේ ක්ෂේත්‍රය ගැන තිබෙන වැරදි මත වෙනුවට එහි වෘත්තීයමය වටිනාකම සමාජය වැඩිවශයෙන් අවබෝධ කරගත යුතුයි.
මෝස්තර නිරූපණයෙන් රංගනය කියන්නේ දෙකක්?
මේ ක්ෂේත්‍ර දෙක එකිනෙකට ඉතා සමීපයි. මෝස්තර නිරූපණයෙන් ශරීර භාෂාව, මුහුණේ හැඟීම් පාලනය සහ කැමරාව ඉදිරියේ විශ්වාසයෙන් කටයුතු කිරීම වර්ධනය වෙනවා. ඒවා රංගනයට වාසියක්. ඒ වගේම රංගනය තුළින් ලැබෙන හැඟීම් ප්‍රකාශනය මෝස්තර නිරූපණයට උපකාරී වෙනවා.
ඔබේ ගුරුවරුන් සහ පවුලෙන් ලැබෙන සහයෝගය මතක් කළොත්?
රංගනය මම දමිතා අබේරත්න මිස් යටතේත්, මෝස්තර නිරූපණය වාසනා දන්තනාරායන මිස්, ත්‍රිකලා ධරණි මිස් සහ සමන්ත ගුණසේකර සර්ගෙන්ද හැදෑරුවා. ඔවුන් මගේ ගුරුවරුන් වගේම දෙවිවරුන්. ඒ වගේම කලාවේ මා මෙතෙක් ආ ගමනේදී මට ලොකුම ශක්තියක් වුණේ මගේ මල්ලි. පවුලේ සියලු දෙනාවම මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරනවා.