Skip to main content

Mirror Lanka

“ජනතාව අතර ජනප්‍රිය රංගන ශිල්පියෙක් වෙන එකයි මගේ එකම බලාපොරොත්තුව” – සංජය ශ්‍රී

“ජනතාව අතර ජනප්‍රිය රංගන ශිල්පියෙක් වෙන එකයි මගේ එකම බලාපොරොත්තුව” – සංජය ශ්‍රී

සංජය ශ්‍රී නානායක්කාර යනු කලා ක්ෂේත්‍රයට එක්වූ නවක රංගන ශිල්පියෙකි. රංගන පාඨමාලා හරහා සිය රංගන පුහුණුව ලබා, ක්ෂේත්‍රයට පිවිසි ඔහු ‘සුගලෝ දේවිය’, ‘නිදහසේ පියා’ සහ ‘සංගීතේ’ ඇතුළු නිර්මාණ රැසක සුළු චරිත නිරූපණය කර ඇත. වෙනත් රැකියාවක නියැලෙමින් රංගනයේ යෙදෙන ඔහුගේ අරමුණ ජනප්‍රිය, දක්ෂ රංගන ශිල්පියෙකු වීමයි.

සංජය, ගැන අපි මුලින්ම දැනගන්න කැමතියි?

මගේ සම්පූර්ණ නම සංජය ශ්‍රී නානායක්කාර. මගේ වයස අවුරුදු 29යි. මගේ ගම අම්පාරේ වුණාට දැන් මම පදිංචි වෙලා ඉන්නේ පැලවත්තේ. පවුලේ තොරතුරු කිව්වොත් මට සහෝදරියෝ තුන්දෙනෙකුයි සහෝදරයෝ දෙන්නෙකුයි ඉන්නවා. ඒ හැමෝම විවාහකයි, මම විතරයි තාම විවාහ වී නැත්තේ. ඊට අමතරව මම රැකියාවක නිරත වෙමින් සිටිනවා. ඒ අතර ලැබෙන ඉඩ කලමණකරණය කරගෙන රංගන කටයුතුවලත් නියැළෙනවා.  

ඔබ රංගන ක්ෂේත්‍රයට ප්‍රවේශ වුණේ කොහොමද?

මම මුලින්ම මහේන්ද්‍ර පෙරේරා මහත්තයාගේ රංගන වැඩමුළුවකට සහ සුගත් සමරකෝන් මහත්තයාගේ රංගන වැඩමුළුවකට සම්බන්ධ වෙලා රංගනය ගැන හදාරන්න ගත්තා. මේ වැඩමුළු දෙකම තිබුණේ කොළඹ සුදර්ශියේ. එහිදි මට කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණ ගොඩක් අය මුණ ගැහුණා. රංගන කටයුතුවලදී මට ගොඩක්ම උදව් කළේ පද්මා අක්කා. ඇය තමයි මට විවිධ ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න කතා කරලා, මඟපෙන්වීම් ලබා දීලා ලොකු සහයෝගයක් දුන්නේ.

ඔබ මේ වන විට දායක වී තිබෙන කලා නිර්මාණ මොනවාද?

මම මේ වන විට නිර්මාණ කිහිපයකම සුළු චරිත හරහා දායක වෙලා තියෙනවා. ‘සුගලා දේවිය’, ‘නිදහසේ පියා’, ‘ගිනිගන්න විජිතය’ (ගිනි දඩු දුන්න), ‘ගිරිගජ කුංචනය’, ‘එදා රෑ’, ‘මා’, ‘රාවණා’ හා වැලිපවුර වගේ නිර්මාණ ඒ අතර වෙනවා. ඊට අමතරව අග්නි වර්ෂා කියන නාට්‍යෙය් වගේම දෙරණ රූපවාහිනියේ විකාශය වෙන ‘සංගීතේ’ ටෙලි නාට්‍යයේ පොලිස් කොස්තාපල්වරයෙකුගේ චරිතයක් ඇතුළුව පොලිස් චරිත කිහිපයක්ම රඟපාන්න මට අවස්ථාව ලැබුණා. ඒ එක්කම රංගනයට ආපු මුල් කාලයේ අංගොඩින් උපාධිය, මරණය අභියස සිහිනය කියන වේදිකා නාට්‍යයවලට පවා මම සම්බන්ධ වුණා. තව බෙංගාලි චිත්‍රපටයකත් මම සුළු චරිතයක් රඟපෑවා.

පොලිස් චරිතවලටම ඔබ සීමා වෙයිද?

පොලිස් චරිත රඟපාන්න මම කැමතියි. නමුත්, ඒ චරිතයටම කොටු වෙන්න මම කැමති නැහැ. එකිනෙකට වෙනස් විවිධ චරිත රඟපාමින් ප්‍රේක්ෂකයින් අතරට යන්න කැමතියි. බොහෝ විට ඉදිරියේදී මම විවිධ චරිත හරහා ප්‍රේක්ෂකයින් හමුවේවි කියලා හිතනවා.  

රංගනයට අමතරව ඔබ වෙනත් වෘත්තියක නියැලෙනවාද?

ඔව්, මම වෙනත් රැකියාවකුත් කරනවා. ඒ රැකියාව කරන ගමන් විනෝදාංශයක් විදිහට තමයි මම රංගන කටයුතු කරගෙන යන්නේ. මගේ ලොකුම ආසාව සහ බලාපොරොත්තුව තමයි මේ රංගන ක්ෂේත්‍රයෙන් ඉදිරියට ගිහින් හොඳ තැනක් හදාගන්න එක සහ ජනතාව අතර ජනප්‍රිය, හොඳ රංගන ශිල්පියෙක් වෙන්න එක.

කලාව පැත්තෙන් ඉදිරියට යන්නද ඔබගේ බලාපොරොත්තුව?

ඔව්, දැනට එහෙම තමා සැළසුම. මොකද නළුවෙක් වෙන හීනේ. කලාවට එකතු වෙන එක අද ඊයේ තිබුණ හීනයක් නෙවෙයි මට. මේක පොඩි කාලේ ඉඳලා තිබුණ හීනයක්. ඉතින් මම දැන් කලා ක්ෂේත්‍රයට ඇවිල්ලා තියෙනවා. දැන් මට අවශ්‍ය මෙහි ස්ථාවර වෙන්න. ආපු ගමනක් බොහෝම දුෂ්කර එකක්. ඒ නිසා මේ තැන රැකගන්න ඕනා. ඒ නිසා ලැබෙන වැඩ ඕනා එකක් භාරගෙන රංගන ශිල්පියෙක් විදිහට පූර්ණ කාලීනව කැප වෙන්න බලාපොරොත්තු වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *