මගේ මාධ්‍යය ජීවිතයට දැන් වසර පහළොවක් පමණ වෙනවා
විවිධ මාධ්‍යයන්වල දශකයකට අධික කාලයක් තිස්සේ සිය අත්දැකිම් එකතු කරගත් තරුණ මාධ්‍යවේදියෙකු මෙවර අපට මුණ ගැසුණා. ඔහු නමින් ධනුෂ්ක දිලිනුවන්ය. වර්තමානයේද බොහෝ කාර්යබහුල මාධ්‍ය ජිවීතයක් ගත කරමින් සිටින ඔහු සිය ආ ගමන් මඟ ගැන අපට පැවසුවේ මෙවැන්නක්.
ධනුෂ්ක දැන් මාධ්‍යය ක්ෂේත්‍රයට ඇවිල්ලා දිගු කාලයක්..
ඔව්, පාසල් අධ්‍යාපනය නිමාවත් එක්ක මට ලොකු අරමුණක් තිබුණා මාධ්‍යය ජීවිතයට යොමු වෙන්න. විශේෂයෙන්ම නිවේදකයෙක් විදිහට. හැබැයි ඉතින් හිතපු සැණින් මට මාධ්‍ය ජීවිතේට සම්බන්ධ වෙන්න නොහැකි වුණා තිබුණ ආර්ථික වටපිටාවත් එක්ක. උසස් පෙළ කරලා මම රැකියා කිහිපයක්ම කළා. නමුත්, හිත තිබුණේ මාධ්‍යය පැත්තට යොමු වෙන්න නිසා කරපු රැකියාවන් වලින් ඉවත් වෙලා මම මාධ්‍යය පැත්තට යොමු වෙන්න හිතුවා.
මාධ්‍යය ජීවිතේ මුලාරම්භය මතකද ඔබට?
ස්වාධින රූපවාහිනි නාළිකාවේ සේවය කළ සම්පත් අයියා තමයි මාව මාධ්‍යය ජීවිතයට ඇදලා ගන්නේ. ඔහුගේ මඟ පෙන්වීම යටතේ මම රූපවාහිනි අභ්‍යාස විද්‍යාලයට යොමු වෙනවා. ඊට පස්සේ මම මාධ්‍යය පැත්ත ගැන උනන්ඳු වෙනවා. සිරසේ අමර ශ්‍රී බණ්ඩාර වගේම දෙරණ සුමුදු මහිල් හා සියතේ උදේශන් ඉඩමේගෙදර අයියලාව මේක අවස්ථාවක් කරගන්නවා මතක් කරන්න. මොකද, ඔවුන් තමයි මගේ මාධ්‍ය ජීවිතේ මට උදව් කරපු පිරිස. මේ වන විට මම මාධ්‍යය ජීවිතයට සම්බන්ධ වෙලා වසර 15ක් විතර කාලයක් ගත වෙලා තියෙනවා.

ඕනෑම ක්ෂේත්‍රයක මුල් පියවරයන් අභියෝගයක්?
ඇත්තටම ඔව්, මේ ආපු ගමන බොහෝ කම් කටොළු දුක් බාධක මැද ආපු දුෂ්කර ගමනක් කිව්වොත් හරි. හැබැයි මේ හැම බාධකයක්ම මම අභියෝගයක් විදිහට භාරගත්තු කෙනෙක්. ඒ නිසා අදටත් මේ මාධ්‍යය ජීවිතේ තුළ මා ආපු ගමන ගැන සතුටු වෙනවා. ඒ වගේම මාධ්‍යයකරුවෙක් විදිහට ආපු ගමන අද සාර්ථකව භුක්ති විඳිනවා. මේ ආපු ගමනේදී මට උදව් කරපු කිහිප දෙනෙක් ඉන්නවා. හසිත විජේවර්ධන, ගයාන් අමිල, තිසංක ගමගේ, අනුරාධ සිගේරා, දමිත් කස්තුරි යන අයට මේක අවස්ථාවක් කරගන්නවා ස්තුති කරන්න. මාධ්‍ය තුළ රැදිලා ඉන්න නම් කැප කිරිම් කරන්න වෙනවා ඒ කැපකිරිම් නිසාම තමයි මට මාධ්‍යයේ ජීවිතය තුළ මේ තරම් කාලයක් රැදිලා ඉන්න පුළුවන් වුණේ කියලා මම හිතනවා.
ධනුෂ්ක කියන්නේ මේ මාධ්‍යය කලාව තුළ අපිට දකින්නට ලැබුණ විශේෂ කෙනෙක්?
එහෙම කිව්වොත් හරි. මුද්‍රිත මාධ්‍යය රුපමාධ්‍ය හොඳ අත්දැකිම් ලබා ගන්න පුළුවන් වුණා. ඒක ටිකක් අමරු වැඩක් වුණත් ඒ නිසා මාධ්‍යයවේදියෙක් විදිහට ඉදිරියට එන්න ලොකු උදව්වක් වුණා. මම මුද්‍රිත මාධ්‍යය, රුප මාධ්‍යය වගේම ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යය තුළ වැඩ කරන්න අවස්ථාව ලැබුණා. මම හිතන්නේ මගේ මාධ්‍යය ජීවිතයට ඒ හරහා සුවිශාල අත්දැකිම් සම්භාරයක් එකතු කරන්න හැකිවුණා කියලා. මම මගේ දායකත්වය හැම මාධ්‍යයකටම අද වෙන කොට දීලා තියෙනවා. ඒක හරි විශේෂයි.
තරුණ මාධ්‍යවේදියෙකු විදිහට වර්තමාන මාධ්‍ය කලාව දකින්නේ කොහොමද?
අතිතයේ හා වර්තමානයේ මාධ්‍යවේදියා අතර, අද ලොකු වෙනසක් ඇති වෙලා තියෙනවා. අද තාක්ෂණය දියුණුයි ඒ වගේම සමාජ මාධ්‍යය අද කාටත් නැතුවම බැරි දෙයක් බවට පත් වෙලා. මේ දේවල් එක්ක යම් අභියෝගවලට මුහුණ දෙන්න අද ඉන්න මාධ්‍යවේදින්ට සිදුවෙලා තියෙනවා. දේශපාලඥයින් සමග වගේම විවිධ තරාතිරම්වල පුද්ගලයින් සමග වැඩ ගනුදෙනු කරද්දි විශාල අභියෝගවලට මුහුණ දෙන්න අද මාධ්‍යවේදින්ට සිදුවෙලා තියෙනවා එහෙම බැලුවාම අතිත මාධ්‍යවේදියාට වඩා වර්තමාන මාධ්‍යවේදියා ලොකු පීඩනයක ඉන්නවා. ඔහු අතින් පොඩිම වැරැද්දක් වුණොත් ඒක අද සමාජයට ඉතා විශාල ලෙස බලපානවා.
